වසන්ත චන්ද්‍රපාල
ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයේ මුල්ලේගම ගම්මානයේ ඉකුත් 08 වෙනි දා වලසුන් තිදෙනෙකු පහර කෑමට ලක්වීමෙන් පසුව තුවක්කුවකින් වෙඩි තබාගෙන මිය ගියා යැයි කී ග්‍රාමරක්ෂක භටයාගේ මරණය සිය දිවිහානි කර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදි හෙලිවි තිබේ.
මුල්ලේගම පදිංචි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි ග්‍රාමාරක්ෂක භටයා කරාඩුගල පොලිසියට අනුයක්තව සේවය කළේය. දින තුනක හිලව් නිවාඩු රැගෙන ගොස් සිටියදී ඔහුගේ මළ සිරුර මුල්ලේගම ප්‍රදේශයේ හේනක පැලක තිබියදී සොයා ගැණිනි.
අම්පාර අතිරේක මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකාර මහතා සිද්ධිය වු ස්ථානයට පැමින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට දේහය අම්පාර මහා රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.
අම්පාර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙම මරණය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදීමෙන් සිදුවු මරණයක් බවට නිගමනය කළේය. වලසකු විසින් පහරදීමකින් මෙම මරණය සිදු සිදුවී නැති බවද සදහන් කළේය.
පළමු වෙඩිල්ල නිකටෙන් වැදී හක්ක ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති අතර එයින් මාරාන්තික තුවාල සිදුවී නැතැයි ද, දෙවැනි වෙඩිල්ල හිස් මුදුනෙක් වැදි හක්ක ප්‍රදේශයෙන් පිටව ඇති අතර එයින් හිසට සිදුවූ බරපතල තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ.
ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.