මුලතිව් රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි



 
(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 50 ක් පමණ ගින්නෙන් විනාශ වූ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන්ගේ මැදිහත් වීමෙන් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවත්වීමට හැකි විය.

කේපාපිලව් නැවත පදිංචි ගම්මානය ආසන්නයේ පිහිටි තේක්ක රක්ෂිතයට ගින්න ඇවිලී ඇති අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් පරිදි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ. කොස්තා මහතාගේ මෙහෙයවීමෙන් 12 වැනි ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් 100 කට ආසන්න පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ගිනි නිවිම  සිදු කැරිණි.

රක්ෂිතයේ ඇති වූයේ ලැව් ගින්නක් බවට සැක කෙරෙන අතරම ගින්න මැඩ පැවත්වීමට පියවර නොගත්තේ නම් කේපාපිලව් ගම්මානයේ නැවත පදිංචි වූවන්ගේ වගාවන්ද විනාශ වීමට ඉඩ තිබූ අතරම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ඉදිරියටද මෙවැනි ලැව් ගිනි ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ගින්නක් ඇති වුවහොත් ඉතා ඉක්මණින් යුද හමුදාව දැනුවත් කරන ලෙස අවට ගම්මානවල ජනතාව දැනුවත් කර තිබේ.