මීගොඩ සිවිල් ආරක්ෂක සභාපතිට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)


මීගොඩ හේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති රංජිත් ආනන්ද මහතාට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන ‘රතු බෝලයා’ සහ ‘අබා’ යන පුද්ගලයන් දෙදෙනා හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගත් ‘රතු බෝලයා’ යන සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවත් ‘අබා’ යන සැකකරු ගංජා පානයට ඇබ්බැහි වූවෙක් බවත් පොලිසිය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සභාපතිවරයාට පහරදීමට යොදාගත් පොල්ලක් හා ආරක්ෂක හිස්වැස්මක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
මීගොඩ හේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම වැලිහේනවත්ත ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ අතර පහරකෑමට ලක් වූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ නිවාස කරා පා ගමනින් ගොස් පූර්ව ප්‍රචාර කටයුතු සිදු කර ඇත. 
 
ඒ අතරවාරයේදී පොලු මුගුරු රැගෙන ඔහු වට කරගත් හය දෙනෙකුට ආසන්න පිරිසක් පරුෂ වචනයෙන් බැණ වදිමින් පහරදුන් බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත. 
 
මෙම පහරදීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය කියයි.