මිල්ලගහමුලතැන්නට දින තුනක් විදුලිය නෑ


 (ඉන්දික අරුණ කුමාර)

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලගහමුල තැන්න ප‍්‍රදේශයට දින තුනක් තිස්සේ විදුලිය නොමැති බව පාරිභෝගිකයෝ පවසති.

ඇතැම් අවස්ථාවල වරින්වර විදුලිය ලැබෙන බවත් සිය දෛනික කටයුතු සිදුකර ගැනීමේ දී දැඩි දුෂ්කරතා ඇතිවන බවත් පාරිභෝගිකයෝ පවසති.

විදුලි හදිසි බිඳවැටීම් අංකය 19 වතාවක් ඇමතූ බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ප්‍රදේශවාසියෙක් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විමසිමට නාඋල විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ 066 22 46221 දරන දුරකතන අංකය ඇමතීමෙන් පසු පටිගතකරන ලද ඇමතුමකින් කියා සිටියේ 081 2574444 දුරකතන අංකය අමතන ලෙසයි.

ඒ අනුව එම අංකය ඇමතීමෙන් පසු මෙම විදුලිය බිඳවැටීම මධ්‍යම පාළාත් කාර්යාලයට අයත් නොවන බවත් දඹුල්ල විදුලි ඩිපෝවෙන් විමසන ලෙසත් එහි නිලධාරිනියක් කීවාය.

පසුව දඹුල්ල විදුලි ඩිපොවේ දුරකතන අංක 066- 2283099 දුරකතන අංකයට ඇමතු අවස්ථාවේ මෙම බිඳවැටීම නාඋලට අයත් එකක් බව පවසා 066 - 4928182 දුරකතන අංකයට අමතන ලෙස දන්වන ලදී.
නමුත් එම දුරකතන අංකය ක‍්‍රියා විරහිත කර තිබුණි.