(චන්ද්‍රසේන ගමගේ සහ ඒ.ඒ.පී. කුමාර)
රජයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මිද්දෙනිය රජයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ භූමියෙන් අක්කර 10 ක් ලබාගැනීමේ සැලසුමක් ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් ගොවිපළෙහි සේවකයෝ අද(21) දෛනික රාජකාරිවලින් ඉවත් වී විරෝධතාවක යෙදීසිටිති.
මෙම විරෝධතාවය සඳහා සේවකයෝ 60 දෙනෙක් පමණ එක්වී සිටිති.
මිද්දෙනිය රජයේ බීජ ගොවිපළ රජයේ නිවාස ව්‍යාපෘති සඳහා ලබාගැනීමට සැලසුම් කිරීම සාහසික ක්‍රියාවක් බව ඔවුහු පවසති.
“අක්කර 138 ක් පුරා මෙම ගොවිපළ පවතිනවා. මෙහි සේවකයෝ 60 ක් පමණ සේවය කරනවා. රටට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරන්න වගේම විවිධ රෝපණ පැළ ලබාදීම සඳහාත් මෙම ගොවිපළ විශාල කාර්යක් ඉටුකරනවා. මෙම ගොවිපළ තුළ මුඩු බිම් නෑ. සියල්ල මාස් කන්නයට වගා කරනවා. ගොවිපළෙන් බිම් අඟලක් දෙනවාට අපි විරුද්ධයි” යැයි ගොවිපළ සේවකයෝ කීහ.
“මගේ දෙමව්පියොත්, අපේ පරම්පරා ගණනකුත් ජීවත්වුණේ මෙම ගොවිපළෙන්. එය කෑලි කඩනවාට අපි විරුද්ධයි. අපි නිවාස ව්‍යාපෘතිවලට විරුද්ධ නෑ. ඒව කරන්න මේ පළාතේ ඕන තරම් ඉඩම් හොයා ගන්න පුළුවන්. මේ ගොවිපළ කෑලි වලට කඩන්න ගමේ මිනිස්සු ඉඩ දෙන්නේ නෑ. එහෙම වුණොත් සජිත් ඇමතිතුමාට වෙන්නේ කොට්ටෝරුවාට වූ දේ බව මම කියනවා” යැයි විරෝධතාවට එක්වූ ගොවියෙක් ලංකාදීපයට පැවසීය.