(කාංචන කුමාර ආරියදාස)
රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කර පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම් කරමින් මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපන ශාලාවක දුම්වැටි අලෙවි කරන පුද්ගලයෙකු ළඟ තිබූ රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම සොරකම සිදු වෙන ආකාරය සහ මුදල් රැගෙන යන පුද්ගලයා පිළිබඳව ආපනශාලාවේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී ඇත.
එම ආපන ශාලාවේ ඉදිරියේ පිහිටි ලෑල්ලක් මත තිබු මුදල රැගෙන කලිසමේ සාක්කුවේ දමාගන්නා ආකාරයත් සටහන්ව තිබී ඇත , ඒ අනුව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඉතා සූක්ෂම ලෙස මෙම සල්ලි මුදල් සොරා ගෙන යන පුද්ගලයා පිළිබඳව සැකසිතී ඔහුගේ නිවස පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඒ වෙත යවා තිබිණි.
ඒ අවස්ථාව වන විට පැය හතරක කාලයක් ගතවී තිබුණි. නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරීමේදී 130000 ක මුදලින් රුපියල් 40,000 ක මුදලක් වියදම් කොට තමන්ගේ මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත්වූ බව සැකකරු පවසා ඇත.
ඉතිරි මුදල් සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.