මැදිරිගිරියේ ගොවි පවුල් 4000කට විශේෂ දීමනාවක්


(ක.ග කරුණාරත්න)

කවුඩුල්ල ජලාශය යටතේ මෙවර මාස් කන්නයේ වී වගා කිරීමට නොහැකි වූ මැදිරිගිරියේ ගොවි පවුල් 4000 කට පමණ මසකට රුපියල්  10,000 ක විශේෂ දීමනාවක් සහ රුපියල් 5000 ක ආහාර සලාකයක් ලබාදීමට රජය තීරණය කොට ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා පවසයි.

වියළි අහාර සලාකය හිමිවන ගොවීහු සතියකට දින දෙකක් හෝ තුනක කාලයක් ප්‍රදේශයේ වාරිමාර්ග ඇලවේලි සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කීය.

ඉදිරි මාස 03 ක කාල සීමාවක් සඳහා මෙම රුපියල් 10,000 ක විශේෂ දීමනාව සහ වියළි ආහාරය ලබා දීමට රජය දැනට සැලසුම් කොට ඇති අතර මෙවර මාස්කන්නයේ අපේක්ෂිත වර්ෂාව කලට වේලාවට නොලැබීම සහ මොරගහකන්ද ජලාශයේ ජලය එහි වේල්ලේ පරීක්ෂාව සඳහා රඳවා තබා ගැනීම හේතුවෙන් කවුඩුල්ල ජලාශයට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබී එහි ගොවීන් කොටසකට මෙවර මාස් කන්නයේ වී වගාව අහිමිවීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම ගොවීන්ට සහනයක් ලෙස රජය මෙම තීරණය ගෙන තිබේ.