මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපතිධුරය කුසපත් ඇදීමෙන් පොහොට්ටුවට


(දයාරත්න අඹෝගම)
 
කුසපත් ඇදීමෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එම්.සේනාරත්න මහතා අද (26) තේරී පත්විය.

 
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකුද එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 06 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 03 දෙනෙක්ද මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් 01 මන්ත්‍රීවරයෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 මන්ත්‍රීවරයෙකු සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු තේරි පත්ව සිටියහ.
 
ඒ අනුව අද (26) දින මැදවච්චිය ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරිම සඳහා ඡන්දය පැවැත්වුණි.
 
මෙහිදි සභාපතිධුරය සඳහා පොදුජන පෙරමුනෙන් එච්.එම්.සේනාරත්න මහතාද එක්සත් ජාතික පක්ෂයෙන් වසන්ත රණතුංග මහතාද ඉදිරිපත්ව සිටියහ.ඡන්දය විමසිමේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකි සිටිම නිසා මෙම සභාපතිධුර අපේක්ෂයන් දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබාගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර කුසපත් ඇදීමට සිදුවිය.
 
කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ එච්.එම්.සේනාරත්න මහතා වන අතර ඒ අනුව ඔහු සභාපති ධුරයට පත්විය.

උප සභාපති ධුරය සඳහා රහස් ඡන්දයක් පැවැති අතර ඉන් පොදුජන පෙමුණේ මන්ත්‍රී චානක පුෂ්පකුමාර විජේසුරිය මහතා වැඩි ඡන්දයෙන් උප සභාපතිධුරයට පත්විය.