මැතිවරණය පවත්වන්න’යි ඉල්ලා රීට් පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ )

බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා කඩුවෙල පදිංචිකරුවකු අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සිරිසේන දොළවත්ත මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , එහි සභාපති ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.

නීතීඥ පේ‍්‍රමනාත් සී .දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා අවසන් විණි.එලෙස එම පළාත් සභාවේ නිල කාලය අවසන් වී මාසයක් ගත වුවද මේ දක්වාම මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කර නොමැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය සහ පළාත් සභා පනතෙහි විධිවිධාන අනුව බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇත.

එහෙත් එම කාර්යය වගඋත්තරකරුවන් ඉටුකර නොමැත.මේ හේතුවෙන් අදාළ පළාත් සභාව තුළ වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝණය වී තිබෙන බවද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද සිය රිට් පෙත්සමින් ඉල්ලා ඇත.