ලෙල්ලොපිටිය පිටකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික රබර් ඉඩමක මැණික් ඉල්ලමක් මතුව ඇතැයි කියමින් දහසකට වැඩි පිරිසක් එහි කඩා වැදී ඉල්ලම් පස් යැයි පවසමින් ඉඩමේ පස් ටිපර් රථවල පටවාගෙන පිටතට ගෙනියන බව ප්‍රදේශවාසීහූ කියති.
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරට කිලෝ මිටර් දෙකක් පමණ දුරකින් පිහිටි ඉඩමක මෙම ක්‍රියාව සිදුවෙයි. මේ වනවිට මැණික් ගරන්නන් මෙන්ම සුලු මැණික් වෙළෙන්දන් ද එහි පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
දැනට දින තුනක පටන් දිවා රාත්‍රී දෙකේම මෙම ක්‍රියාව සිදුවන අතර වරින්වර පොලිසිය පැමිණෙන බව ද ප්‍රදේශවාසීහූ කීහ. පොලිසිය පැමිණෙන විට ඉවත් වන පිරිස් පොලිසිය ආපසු ගියවිට නැවතත් පැමිණ වැඩ පටන් ගන්නා බව කියති.
මේ වනවිට පුද්ගලික වත්තේ විශාල කොටසක් ඉල්ලම් පස් යැයි කියා පස් ඉවත් කිරිමෙන් තැනින් තැන කුඩා මට්ටමේ වලවල් හෑරී ඇති බව ද කියති. එහෙත් මැණික් හමුවූ කෙනෙක් පිලිබඳ දැනගන්නට නැති බව ද ගම්වාසීහූ කියති. මැණික් ගැරීමට පැමිණ ඇත්තේ පිටස්තර ප්‍රදේශවල අය බව ප්‍රදේශවාසීහු කියති.
මේ පිළිබඳව විමසු විට රත්නපුර පොලීසිය පැවසුවේ වැටලීමට පොලිසිය එහි යනවිට පස් කැපීමේ නිරත පිරිස් වාහන ද සමග ඉවත්ව ගොස් සිටින බවයි. ගෝණකුඹුර හන්දියෙන් පොලීසිය පිටකුඹුර දෙසට යන්නට හැරෙන විට ඒ පණිවිඩය මැණික් ඉල්ලම් සෙවීමේ නිතරත පිරිස් වෙත ලැබෙන නිසා ඔවුන් පොලිසිය එහි යන්නට පෙර එසේ පලා යන බවයි.