මාස 2කින් මහජන දිනය නැහැ


(ජයන්ත සමරකෝන්)
 
කොළඹ මහ නගර සභාවේ මහජන දිනය දැනට මාස 2කට ආසන්න කාලයක් තිස්සේ නොපැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
 
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ‘නැවත දන්වනතුරු මහජන දිනය නොපවත්වන බව’ට සඳහන් දැන්වීම මේ දක්වා නගරසභා පිවිසුම් ස්ථානයේ දක්නට ලැබේ. මහජන දිනය පැවැත්වෙන සෑම බදාදා දිනයකදීම නගරාධිපතිනිය, නාගරික මන්ත්‍රීවරුන් හා අදාළ නිලධාරීන් හමුවීමට නොහැකිව සිය ගණනක් ජනතාවට ආපසු හැරීයාමට සිදුව ඇතැයි ද පැවසේ.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග උද්ගත වී ඇති මෙම තත්වය තවමත් සමනය වී නැත්දැයි එම ජනතාව විමසන අතර නගර සභාවේ පරිපාලනයේ පවතින අසතුටුදායක තත්වය පිළිබඳවද ඔවුහු සිය බලවත් අප්‍රසාදය පළ කරති.
 
නගර ශාලාවට පිවිසෙන ස්ථානයේ ‘මහජන දිනය නැවත දන්වන තුරු නොපැවැත්වේ’ යන දැන්වීම තවදුරටත් එලෙසටම පවතී.