(ක.ග.කරුණාරත්න)
මාර්ගයක් අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා ගම්වාසීහු පිරිසක් අද(8) පොළොන්නරුව - බකමුණමාර්ගයේ අත්තනකඩවල ප‍්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
අත්තනකඩවල, බිංගේමුදුන සිට ජයසිරිපුර, සරුබිම දක්වා කිලෝමීටර් හයක පමණ වන මාර්ගය දීර්ඝ කාලයක සිට අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් අබලන්ව ඇතැයිද, එය නොපමාව පිළිසකර කර දෙන්නැයිද ඔවුහු ඉල්ලා සිටියහ.
ජයසිරිපුර, ඉකිරිවැව, අක්කර200, සරුබිම, පොකුණුගල, බිංගේමුදුන ආදී ගම්මාන කිහිපයකට අයත් 500කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක කෙරෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන තුළින් හෝ මෙම ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද ඔවුහු කීහ.
මෙම විරෝධතාව පැය 2 කට ආසන්න කාලයක් පැවැත්විණි.