මාතලේ මහ නගර සභාවත් උණුසුම් වෙයි


(මහේෂ් කිර්තිරත්න)  

 

වර්තමානයේ දී රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකුලත්වය හමුවේ අගමැතිවරයකු පත් කිරිම සම්බන්ධයෙන් අද (8) පැවති මාතලේ මහ නගර සභාවේ මාසික සභා රැස්විමේදි සභිකයින් අදහස් දැක්විම හේතුවෙන් සභිකයින් අතර උණූසුම් වචන හුවමාරුවක් සිදු විය.

මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු විපක්ෂයේ කණ්ඩායම් නායක පාලිත ජයසේකර මහතා  අදහස් දක්වමින් සිටියදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් පාලිත ජයසේක මහතා මෙසේ ද පැවසීය.

‘එදා ආප්ප කාලා පැන්නා. අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදලා කරපු වැඩේ වගේ මේ අවුරුදු තුනක් ආණ්ඩුව කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැඩේ දුන්නා. මේ සිදු කළ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මා ප්‍රතික්ෂේප කරනවා. අපිට ඉන්නේ එක නායකයායි. ඒ වෙන කවුරුත් නොවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. රටම පිළිගත් නායකයා. අපි පොහොට්ටුවේ.මේ සියලු දේට රනිල් වික්‍රමසිංහ මහතාත් වගකියන්න ඕන. එදා ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. අද ප්‍රජාතාන්ත්‍රවාදය ගැන කතා කරනවා.’