දකුණු කොරියා මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙය වීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දි පසුගියදා පැවැත්විණි.
පින්කම සඳහා කොරියා ජාතික ස්වාමීන් වහන්සේලා ද ශ්‍රී ලාංකික සහ කොරියා ජාතික සැදැහැවතුන් දහසකට අධික පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා රජයේ දකුණු කොරියා තානාපති මනීෂා ගුණසේකර සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආරාධිත අමුත්තන් රැසක්ද වුහ.
පෙරවරු 9 සිට සවස 5 දක්වා සදහම් වැඩසටහන පැවැත්වුණු අතර, උදෑසන පටන් සවස් කාලය දක්වා “ගෞතම සසුනේ පිහිට පිළිසරණ ලබාගත හැක්කේ කුමන අයුරින්ද?” යන්න මාතෘකා කරගනිමින් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් දෙසුම් දෙකක් සිදු කළ අතර, කොරියා ජාතික පින්වතුන් සමඟ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පාලියෙන් සජ්ඣායනා කිරිම සිදු කැරිණි. තවද මෛත්‍රී භාවනාව, දහම් ගැටළු විසදාලමින් සිදුකළ ධර්ම සාකච්ඡාව සවස් කාලයේ පැවැත්විණි.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සදහම් සේවාවේ ප‍්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ ගෞරවනීය ඉල්ලීම මත 2014-05-11 දින අන්සාන් නගරයේ මහමෙව්නාව භාවනා අසපුවක් ආරම්භ විය.
අන්සාන් යනු දකුණු කොරියාවේ ප‍්‍රධාන නගර වලින් එකකි. මෙය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් දහස් ගණනක් සේවය කරන නගරයකි. දැනට දකුණු කොරියාවේ තිස්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරති. මහමෙව්නාව අසපු ශාඛාව ආරම්භ කළ පසු බොහෝ ප‍්‍රදේශ වලින් විශාල තරුණ පිරිසක් අසපුවට සම්බන්ධ වී ධර්මය ශ‍්‍රවණය කරමින්, සිල් ආරක්ෂා කරමින් භාවනා ආදී ගුණධර්ම දියුණු කරමින් තම ජීවිතය යහමගට ගැනීමට වෙර දරමින් සිටිති.
තරුණ පිරිස් අතිශය කාර්ය බහුල වෙහෙසකර අවිවේකී ජීවිතයක් ගත කරමින් ගෞතම සසුනේ පිළිසරණ ලබන්නට දරන උත්සාහය අගේ කළ යුත්තකි.