මල්වතු ඔය සුද්ධ කරයි



 
 
(දයාරත්න ඇඹෝගම)
 

වසර ගණනාවක සිට මල්වතු ඔය ඉවුරු ආරක්ෂා නොකිරීම හේතුවෙන් එහි ඉවුරු සේදී ගොස් ජලාශය ගොඩ වී ඇති අතර, විශාල ගස් වැටී මල්වතු ඔය අවහිර වීම හා කැලිකසල මල්වතු ඔය දෙපස රැඳී තිබීම හේතුවෙන් ඔයද ගොඩ වී තිබේ. 

ආක්‍රමණික ශාක විශාල වශයෙන් මල්වතු  ඔය ආක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකී වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා අනුරාධපුර නගරයේ ජයන්ති මාවත සහ ඒ ආසන්නයේ පිහිටි රාජ්‍ය ආයතන පෞද්ගලික නිවාස යටවීම සුලබ දසුනකි.

ඒ අනුව ඉදිරි සතිය තුළ මල්වතු ඔය තුළ පවතින ආක්‍රමණික ශාක හා අපද්‍රව්‍යය ඉවත් කර ජලය පහසුවෙන්  බැස යන ලෙස ඔය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

ඒ අනුව එම වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් අද (4) මල්වතු ඔයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

" ආපදාවට පෙර සූදානම"  වැඩසටහන යටතේ නැවත ගංවතුර තත්වයක් ඇති වීමට පෙර, ගංවතුර තත්වය අවම කරගැනීම සඳහා මල්වතු ඔය තුළ පවතින කැලිකසල, ආක්‍රමණික ශාක හා මල්වතු ඔය තුළ පවතින සේදී ගිය පස් තට්ටු ඉවත් කිරීමට නියමිතය. නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යයවරයා මෙසේ පැවසීය.

වර්ෂා කාලයට මල්වතු ඔය පිටාර ගැලීමත් සමගින් අනුරාධපුර නගරයේ විශාල පවුල් ප්‍රමාණයක් අවතැන් වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි මල්වතු ඔයේ වතුර බැහැලා යන්න තියෙන බාධාව.

ඒ නිසා අපි ලබන සතිය වන විට නිළධාරීන් සමඟ සාකච්ජා කරලා ඉදිරි මාස 2 තුළ මල්වතු ඔයේ ජලය බැස යා හැකි පරිදි ඇළ සුද්ධ පවිත්‍ර කිරීමටත්, පවතින බාධාවන් ඉවත් කිරීමටත්, ජලය බැස යාමේදී  ගැටලු ලෙස පවතින පාලම්, බෝක්කු පුළුල් කිරීම මගින් ජලය පහසුවෙන් ගලා යා හැකි ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීම කරනවා.