(හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)
‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් දෙකක් ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධංකර විද්‍යාලයේදීය සහ සාම්පූර් මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ත්‍රිකුණාමලය සුමේධංකර විද්‍යාලයේදී නෞකාවේ කාර්යමණ්ඩලය සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර ඊට පාසලේ සිසු සිසුවියෝද සහභාගී වූහ. ඊට පෙර නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පාසල් සිසුන් අතර වොලිබෝල් තරග කිහිපයක් පැවැත්විණි.
මෙහිදි ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේණික ක්‍රීඩාවක් වන ‘ෆ්‍රීස්බී’ ක්‍රීඩාවේ නිරත වීමට ද ශ්‍රී සුමේධංකර විද්‍යාලයේ සිසු සිසුවියන්ට අවස්ථාව ලැබිණි.
අද දිනයේ දෙවැනි වැඩසටහන සාම්පූර් හි සාම්පූර් මහා විද්‍යාලයේදී පැවැත්විණි. එහිදි පාසල් සිසු සිසුවියන්ට වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර එම සායනය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය. වෛද්‍ය සායනයට අමතරව අද (3) සහ (4) ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ. එම වෛද්‍ය සායනයට සාම්පූර් හා ඒ අවට පිරිස් ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ත්‍රිකුණාමලය, සාම්පූර් යන ප්‍රදේශවල රෝහල් සහ ඒවායේ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව වෛද්‍ය සායනය සහ ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පැවැත්වේ.
අද (3) දහවල් වනවිට සාම්පූර් හා ඒ අවට ප්‍රදේශවල වැසියන් 500කට ආසන්න පිරිසක් අක්ෂි, දන්ත සහ වෙනත් රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් මෙන්ම ප්‍රතිකාර ද ගෙන තිබිණි.
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ කාර්යමණ්ඩලය විසින් එම වැඩසටහන් දියත් කෙරුණි . යු.එස්.එන්.එස් මර්සි නෞකාව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකකි.
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ




