මත්පෙති සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට


රොමේෂ් මධුෂංඛ

 

ඉන්දියාවෙන් ගෙන එන ලද නියුරෝවන් 150 වර්ගයට අයත් නීතිවිරෝධී මත්පෙති 2600 ක් කාර් රථයකින් රැගෙන ගිය තරුණයින් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයේදී අද (21) අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

ඕමන්ත ප්‍රදේශයේදී පසුගිය 19 වැනි දා බස් රථයකදී අදාළ මත් පෙති රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ තොරතුරු මත ඕමන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රීක්කයේ චුන්නාකම් ප්‍රදේශයට ගොස් උපාය දූතයෙක් මාර්ගයෙන් අදාල මත් පෙති ජාවාරමේ නිරත වූ තරුණයින් දෙදෙනා කාර් රථයකින් යමින් සිටියදී අද (20) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

තරුණයින් දෙදෙනා අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී මෝටර් රථය පරික්ෂා කිරීමෙන් පසුව එහි සඟවා තිබූ නියුරෝවන් 150 වර්ගයට අයත් නීති විරෝධී මත්පෙති 2600 ක් සොයාගෙන ඇති අතර අදාළ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (22) දිනයේදී වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.