කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ඇති ඉපැරණි බෝ ගසක් කපා දැමීම නිසා එහි වාසය කළ පක්ෂීන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ මිය ගොස් ඇත.
තවත් පක්ෂින් විශාල ප්‍රමාණයක් තුවාල වී තැන තැන වැටී සිටින අතර පක්ෂි කැඳලි සහ බිත්තර විශාල ප්‍රමාණයක්ද විනාශ වි තිබේ.
මෙම සිදුවීම සැළවීමත් සමඟ පරීසරවේදීන් එම ස්ථානයට පැමිණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
අද (10) වනජීවී සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලබා සිටි පක්ෂින් පශූ වෛද්‍ය අංශය වෙත යොමු කිරීමට කටයුතු කළේය.
එම අවස්ථාවේදී මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වු වනජීවී සංරක්ෂණ නිලධාරියකු පවසා සිටියේ පක්ෂි කැඳලි සහිත පක්ෂීන් වෙසෙන වෘක්ෂ කැපීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළයුතු වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව එසේ කොට නොමැති බවයි.
එම බෝ වෘක්ෂය කැපීමෙන් මිය ගිය පක්ෂීන්ගේ මළ සිරුරු දුම්රිය මාර්ගය අවට සහ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවට දක්නට ලැබුණු අතර බිත්තර බිදුණු පක්ෂීන් එම කපා දැමු ගසෙහි කඳ මත සිට විලාප නඟන බවත් ඒ අසළින් යන එන පිරිස් පවසති.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊට වගකිව යුතු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
(36698)