බෝගන්දන විහාර භූමියේ නිධන් හෑරූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ  රජ මහා විහාරස්ථානයට අයත් බෝගන්දන  විහාර භූමියේ  නිධන් හෑරීමේ  සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයකු අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

සැකකරු හපුතලේ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් ආරක්ෂක සහායකවරයෙකු බවද පොලිසිය කියයි.

මීට  සතියකට පමණ පෙර නිධන් සෙවීම සඳහා  රාත්‍රී කාලයේ  බෝගන්දන විහාරස්ථ භූමිය හාරා තිබිණි.
විහාරස්ථානයේ  නිධන් හාරන බවට තොරතුරු ලැබී පොලීසිය එම ස්ථානය  වටලන විට  සැකකරුවන් පලා ගොස් සිටි බව පොලිසිය කියයි.  පුළුල් විමර්ශනයකින් පසුව එක් සැකකරුවෙකු  මීට පෙර අත්අඩංගුවට ගත් බවත්,  ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට  නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

බෝගන්දෙන විහාරස්ථානය 16,17,18 යන සියවස්වල මෙම ප්‍රදේශයේ බෞද්ධ ආගමික මූලස්ථානය වී තිබූ බව විහාරස්ථානය බාර සොරගුණේ  රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී සොරගුණේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

හල්දුම්මුල්ල  පොලිසිය පරීක්ෂණ පවත්වයි.