බොරු සාක්කි දුන්නැයි සැකකාරියට ලිහිල් සිර දඬුවම්


දිනේෂ් උපේන්ද්‍ර                                                                                                           
            
කුලියාපිටිය මහාධිකරණය හමුවේ විභාග වූ වයස අවුරුදු 11ක දැරියක් තමන්ව ලිංගික වශයෙන් අපයෝජනය කළ බවට අධිචෝදනා ගොනුකර තිබූ නඩුවක වින්ධිත දැරිය අධිකරණයට ලබාදුන් සාක්‍ෂි සාවද්‍ය බව පිළිගැනීමෙන් පසුව ඇයට මාස 6ක අනිවාර්ය ලිහිල් සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහඳගමගේ මහතා ඊට අමතරව රුපියල් දහසක දඩයක්ද නියම කළේය.

ඉකුත් සැප්තැම්බර් 19 වැනි දා මහාධිකරණයේ දී මූලික නඩුව කැඳවූ අවස්ථාවේදී තමාට ලිංගික අපයෝනය සිදුකළ බව එම නඩුවේ වින්දිත තැනැත්තිය අවස්ථා දෙකකදී අධිකරණය හමුවේ පවසා තිබියදී නැවතත් නොවැම්බර් 15 වැනි දා නඩුව කැඳවු අවස්ථාවේ දී තමන් එසේ ලබාදුන් සාක්කි අසත්‍ය බවට පිළිගෙන තිබේ.

පසුව බොරු සාක්කි ලබා දුන්නැයි වින්දිත දැරියට එරෙහිව අධිකරණයේ නියෝග මත මහාධිකරණ රෙජිස්ටර්වරිය චෝදනා ගොනු කර තිබිණි.

එසේ අධිකරණයට අපහාස කළැයි ගොනු කර තිබූ චෝදනා සඳහා ඉකුත් 8 වැනි දා මුල් නඩුවේ වින්දිත පැමිණිලිකාරිය විත්ති කූඩුවේ සිට හඬා වැලපී වරද පිළිගනිමින් සමාව අයැද තිබිණි. 

එහිදි ඈ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නන්දිත අමරසිංහ මහතා කරුණු පැහැදිලි කරමින් තම සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනයක් නොලද අයෙකු බැවින් මේ වනවිට ඇය තමන් ලබාදුන් පිළිතුරු පිළිබඳ පශ්චාත්තාප වන බව පවසමින් පෙරවැරදි කිසිත් නොමැති ඇයට ලිහිල් දණ්ඩනයක් ආයාචනා කර තිබිණි.