බීමතින් රියපැදවූ සලෝචනගේ රියැදුරුට දඩ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බීමතින් අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ මහතාගේ රියැදුරුවරයාට රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස කැස්බෑව අතිරේක මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද(22) නියෝග කළාය.
 
ඊට අමතරව සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස 6කට අත්හිටුවීමටද වැඩිදුරටත් නියෝග කළාය.
 
මෙසේ දඩ මුදලක් නියමවූයේ මහරගම ගොස්ගමුව පදිංචි ටී.ඩී. ඉන්දු මාධව නැමැත්තාටය.
 
ඉකුත් 17වැනි දින පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා රාජකාරී අවශ්‍යතාවයක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී සැකකරු විසින් හිටපු මන්ත්‍රීවරයාට අයත් ජීප් රථය අපරීක්ෂාකාරීව මාර්ගයේ ධාවනය කරනු දැක එය නතර කර පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිටින බව පැහැදිලි වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
 
වාහනයට අයත් ආදායම් බලපත්‍රය ඔහු සතුව නොතිබූ බවත්, ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් සංඛ්‍යාවක් වාහනය තුළ සිටින බව අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
 
පොලිසිය විසින් 18 වැනි දින ඔහුව ඇප මත මුදාහළ අතර, බීමතින් රිය පැදවීම, අපරීක්ෂා අයුරින් රිය ධාවනය, ආදායම් බලපත්‍රය නොමැතිවීම හා ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙනයාම යන චෝදනාවන්ට අදාළව සැකකරුට එරෙහිව අධිකරණයට වාර්තා කර තිබිණි.