බියර්හලට විරෝධය පා දුටුවැව වැසියෝ උද්ඝෝෂණයේ


(දයාරත්න ඇඹෝගම)
 
 
ගලෙන්බිඳුනු දුටුවැව ප්‍රදේශයේ ගම්වාසීහු අද (28) ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
 
 ගලෙන්බිඳුනු වැව බියර් අලෙවිසැලක්  ඉදි කිරීමට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
 
 මීට වසර කිපයකට පෙර ගලෙන්බිඳුණුවැව  දුටුවැව ගම්මානයේ ඉදිකර තිබු බියර් හල ජනතා විරෝධය හේතුවෙන් වසා දැමුණි. නැවතත් එය තම ගම්මානයේ ස්ථාපනය කිරීමට යන බව දැන ගත් ගම්වාසීන් බියර්හලක් ගම්මානයට අවශ්‍ය නොවන බව පවසා අදාළ බලධාරීන් දැනුවත් කර ඇත. එයට කිසිදු විසඳුමක් නොමැති බව සඳහන් කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරතවූහ.
 
 උද්ඝෝෂකයන් ප්‍රාදේශීය සභාවේ ගේට්ටුව පෙරළා සභාවට ඇතුළු වූ අතර බියර්හල ඉවත් කිරීමට තමන්ට නොහැකි බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
 
 පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවතිණි.