(ප්‍රියානි මංගලිකා)
දස හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, නෑදෑයෙකු වන මහලු පුද්ගලයකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අද (03) පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දැරියගේ නිවස අසල වෙසෙන 15 හැවිරිදි අසල්වැසි තරුණයකු වන අතර, පලාගිය තැනැත්තා 65 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
දැරිය ගේ මව පිට පලාතක ඇඟලුම් රැකියාවක් සඳහා නිවසින් බැහැරව ඇති අතර, දැරිය තම පියා සහ සහෝදරිය( 16) සමග නිවසේ ජීවත් වී ඇත. පියා සහ සහෝදරිය නිවසේ නොමැති අවස්ථාවල වසරකට අධික කාලයක සිට නෑදෑ සීයා සහ අසල්වැසි තරුණයා දැරිය අපයෝජනය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
දැරිය පාසැල පිරිසිදු කිරීම සඳහා ගිය අවස්ථාවේ , තමාට නෑදෑ සීයා කරදර කරන බවට තම ගුරුතුමියට පැවසීමෙන් පසුව පියාට දැනුම් දීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කර ඇති බවද පොලීසිය පවසයි.
ඒ අනුව පරීක්ෂණ සිදුකර මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද, පලාගොස් සිටින සැකකාර සීයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවද, සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව මීගලෑව පොලීසිය සහ නිකවැරටිය කොට්ඨාස සොකෝ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.