බස්නාහිර පළාත් සබේ එජනිස මන්ත්‍රීවරු දෙදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති


මුදිතා දයානන්ද
            
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කීර්ති කාරියවසම් හා නවුසර් ෆවුසි මන්ත‍්‍රීවරුන් දෙදෙනා අද (04) පෞද්ගලික ප‍්‍රකාශයක් කරමින් විපක්ෂයේ අසුන් ගත්හ.

මෙසේ සිදුවූයේ බස්නාහිර පළාත් සභාවේ අය වැය විවාදය නියෝජය සභාපති යසපාල කෝරළගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවත්වූ අවස්ථාවේදීය.

මෙහිදි අදහස් දැක්වූ කාරියවසම් මහතා යහපාලනය ඇති කිරිමේ අරමුණ ඇතිව තමන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීමට කටයුතු කළ බවත් පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත‍්‍රීවරු අතරින් මුලින්ම ඔහු සමඟ හිටගත් මන්ත‍්‍රීවරයෙක් ලෙස මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් සිදුකරමින් සිටින දේවල් අනුමත කළ නොහැකි බවද ඒ අනුව තමන් ආණ්ඩු පක්ෂය අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බවද පැවසීය.

නවුසර් ෆවුසි මහතාද අදහස් දක්වමින් පසුගිය කාලයේ දේශපාලනය තුළ සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ලෙස තමන් ඒ ගැන කණගාටු වන බවද තමන්ගේ පියා හොඳ දේශපාලඥයෙක් වන අතර තමන්ද හැමවිටම ජනතාගේ පැත්තෙන් සිතා කටයුතු කළ බවද ඒ අනුව මෙම තීරණය ගත් බවද පැවසීය.

විපක්ෂයට එක්වූ මන්ත‍්‍රීවරුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් උණුසුම්ව පිළිගනු ලැබිණි.