( ජුඩ් සමන්ත)
වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරකුට පහර දී මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ බව කියන “හනුමා” නමින් හඳුන්වන පුද්ගලයකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
පහර කෑමට ලක්ව ඇත්තේ නොච්චියාගම - කිනවැල්දෙණිය පදිංචිකරුවෙකි. වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු මාර්ගය හරස් කර තමන් පදවමින් සිටි බස් රථය නවත්වා පහර දුන් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
තමන් අතර තිබූ රුපියල් 17,500 ක මුදලක් සහ ජංගම දුරකථනයක්ද පහර දීමට පැමිණි අය කොල්ලකෑ බවද පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත.
පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වන අතර ඔවුන් පැමිණි වෑන් රියද පොලිස් බාරයට ගෙන ඇත.
දුර ගමන් සේවා බස් රථ වලින් අතර මගදී මගීන් පටවා ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම මීට පෙරද ගැටුම් හට ගෙන තිබුණි.
සැකකරවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.