බස් රථයකට යටවී තුවාල ලබාසිටි තරුණයෙක් මරුට


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල මාපලගම ලබුදූවේ දී අද (24) සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණයෙකු අද රාත්‍රී මියගොස් ඇතිබව අක්මීමන පොලිසිය කියයි.

අනතුරින් මියගිය තරුණයා 27 හැවිරිදි අයෙකු බවත් ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කරන අයෙකු බවත් පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා සිද්ධිය වන අවස්ථාවේදී යතුරුපැදියකින්  ගාල්ලේ සිට මාපලගම දෙසට ගමන් කොට ඇති අතර  ඔහු බස්රථයක් ඉස්සර කිරීමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක යතුරුපැදියේ ගැටී පසුව බස් රථයේ ඉදිරි රෝදයට යට වී මෙම අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය කීය.

මියගිය තරුණයාගේ  පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා මළ සිරුර දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

අක්මීමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.