බසයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකුට තුවාල


(දියතලාව - ඩී.කේ.රත්න )
වැලිමඩ නුවරඑළිය පධාන මාර්ගයේ ධාවනයවෙමින් තිබූ ලංගම බස් රථයක් අද ( 08 දා )  වැලිමඩ නුගතලාව උඩුමුල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකු තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට අයත් මෙම බස් රථය  කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය කර වැලිමඩ නගරයේ මගී ජනතාව බැස්සවීමෙන් පසු නැවත කැප්පෙටිපොල ශ්‍රි ලංගම ඩිපෝව වෙත යමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ රිය සහායක ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර බස් රථයේ ඒ වන විට රැදී සිටි මගියෙකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. අනතුරින් බස් රථයටද දැඩි  හානි සිදුව තිබේ.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිසියේ රධවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ සිදු කරති.