බඹරු ඇවිත් පාසලක් වසති


බී.ජී. චතුරංග
 
අනුරාධපුර පූජා නගරයේ පිහිටා තිබෙන පෙරිම්යන්කුලම අශෝක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක විශාල බඹර කූඩුවක් බැඳ තිබීම හේතුවෙන්, එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (14) එම පාසල වසා දැමූ බව පාසලේ විදුහල්පති යූ. එල්.ගුණසිංහ මහතා පැවසීය.
 
අද (14) උදෑසන දරුවන් පාසලට පැමිණෙන විට ගොඩනැගිල්ලේ කොටසක බැඳ තිබූ විශාල බඹර කූඩුව දැක, එම ස්ථානයට ගිය දරුවකුගේ පියකු හට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් එම පියා රෝහල්ගත කර තිබේ.
 
දරුවන්ට අනතුරක් සිදුවේ යැයි ඇතිවූ බිය හේතුවෙන් කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කර පාසල වසා දැමීමට පියවර ගත් බව විදුහල්පති වරයා පැවසීය.
 
පොලිසිය හා වනජීවි කාර්යාල දැනුවත් කර  එම බඹර කූඩුව ඉවත් කිරීමට  කටයුතු කරන බව විදුහල්පති වරයා වැඩි දුරටත් පැවසීය.