බන්ධනාගාරයෙන් පලා ආ සැකකරුවකු අල්ලයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඇඳිරි නීතිය පැවතියදී කහතුඩුව පොලිස් වසමේ කළ හදිසි පරීක්ෂාවකදී වසර එකහමාරක් සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටියදී ඉන් පලාවිත් සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
 
සැකකරු බන්ධනාගාරයෙන් පලාවිත් පිළියන්දල, කළුතර, පානදුර, වාද්දුව යන ප්‍රදේශවල ආපනශාලාවල කෝකියකු ලෙස සේවය කර ඇතැයි ද පොලිසිය කියයි.
 
ඇඳිරි නීතිය පැවතියදී සැකකරු කහතුඩුව ප්‍රදේශයේ ගමන්කරමින් සිටියදී අධිවේගී පිවිසුම අසළ යොදා තිබූ මාර්ග බාධකයේදී පොලිසිය අත්අංඩගුවට ගෙන ඇත.
 
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ කළ දේපල කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් වරදකරු වී ඔහු බන්ධනාගාර ගතව සිට ඇති බවද පොලිසිය පවසයි.
 
සැකකරු වාද්දුව මොල්ලිගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.