(හාලිඇල- විජේරත්න රත්නායක)
වෛද්‍යවරයෙකු විසින් රෝහල් සුළු සේවකයෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් බදුල්ල පළාත් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (01) උදෑසන සිට වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලී සිටිති.
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් 300ක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටින අතර මෙම විරෝධතාවයට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ සිද්ධිය වූ අවස්ථාවේ බීමත්ව සිටි එම සුළු සේවකයා රෝහලේ බාහිර රෝගී ඒකකය ඉදිරිපිට නුසුදුසු ස්ථානයක ත්‍රිරෝද රියක් ගෙනැවිත් නතර කළ අතර එය ඉවත් කරගන්නා ලෙස තමන් ඔහුට කී බැවින් ඔහු තමන් හා ආරවුලකට පැමිණි බවයි. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කිරීමටද පියවර ගන්නා බව වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වුවද මේ වනවිටත් විරෝධතා සිදුවෙමින් පවතින අතර එය සමථයකට පත්කර ගැනීම සඳහා රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය හා අදාළ පාර්ශවයන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතියි.
ඡායාරූප - රංජිත් කරුණාවිර (මහියංගණය)