බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ


(ප්‍රින්ස් රත්නායක)

බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඉකුත් ඔක්තෝම්බර් මස 4 වැනිදා බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම දක්වා ධාවනය කළ ලංගම බස්රථය හපුතලේ උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර රියදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් වූ අනතුරින් පසු මේ වනතෙක් එම ගමට බසයක් ලබාදීමට බණ්ඩාරවෙල ඩිපෝව අසමත්ව තිබේ. 

මේ හේතුවෙන් ගමේ පිරිස් තම අවශ්‍යතා ඉටුකරගැනීමට කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පයින් ගමන් කිරීමට සිදුව තිබෙන බවද පැවසේ. වනඅලි ගම්වැදීම  හේතුවෙන් මේ තත්වය තවත් උග්‍රව පවතින බව හා මගතොට  පයින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද ගම්වාසීහු පෙන්වාදෙති. 

මේ සම්බන්ධව බණ්ඩාරවෙල ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.

කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා සිට බස්රථයක් ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.