පොහොට්ටුවේ මන්ත්‍රීගේ පොල් වගාව අලි රංචුවක් විනාශ කරලා


(ජයරත්න වික්‍රමාරච්චි)

සාලියවැව හල්මිල්ලගොල්ලෑවේ පිහිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමිත් ජයසේකර මහතාගේ පොල් ඉඩමකට කඩා වැදුණු වල්අලි රංචුවක් එහි තිබූ පීදුණු පොල් ගස් 60ක් පමණ විනාශකර දමා ඇතැයි ඒ මහතා පැවසීය.

මීට පෙර අවස්ථා දෙකකදී වල් අලින් මෙසේ තමාගේ පොල් වගාව විනාශ කර දැමූ බවත් එම අවස්ථා දෙකේ දීම විශාල වියදමක් දරා නැවත වගා කළ පොල් වගාවන්ට මෙම ඉරණම අත් වූ බවත් නැවත පොල් වගාවක් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා කීය.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ වල් අලින් නීලබැම්ම හරහා රාත්‍රී කාලයට මෙසේ ගම්වැදී වගා පාළු සිදු කර අලුයම් කාලයේ ආපසු යන බවට තමා සැක කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙම කරදරය මේ දිනවල තමාට පමණක් නොව කරුවලගස්වැව කොට්ඨාසයටම පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් සුමිත් ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අප මේ පිළිබඳව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.එස්.චන්ද්‍රරත්න මහතා ගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ සිය බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් අදාළ ගැටළුව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.