පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට ඇතුළත් කරන්න බෑ කියයි


දිලිප් ජයසේකර  

පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයකුගෙන් පහරකෑ බව කියන ටිපර් රථ රියදුරකු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ගැන සොයා බලන බව සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කියයි.
 

පහරදීම ගැන පොලිසියේ පැමිණිල්ලක් නැතැයි කියමින් අවස්ථා දෙකකදී රෝහලෙන් ප්‍රතිකාර නොකර හරවා යැවූ බව පහරකෑ පුද්ගලයා අතුකෝරලගේ රංජිත් කුමාර මහතා පැවසීය.
 
‘‘‘මම පස් ලෝඩ් එකක් බාලා තව පස් ලෝඩ් එකක් ගේන්න   යන අවස්ථාවේ එක සැරේටම කැළේ හැංගිලා හිටිය කොට කලිසමක් ඇඳගත්ත කෙනෙක් මගේ වාහනේ සටිඩ් කණ්නාඩියේ එල්ලිලා කුණු හරුපෙන් බැන්නා. මම එස්ටිඑෆ් එකේ කියා ඔහු කිව්වා. වාහනය නවත්තපන් කිව්වා. ඉස්සරහින් ටිපර් ටිකක් පාරේ තිබුණ නිසා මන් ටිකක් ඉස්සරහට ගිහන් ඉඩ තියෙන තැනකින් නැවැත්තුවා. ඒත් එක්කම එස් ටී එෆ් එකේ කියු කෙනා මට කුණු හරුපෙන් බැනලා මගේ මුහුණට හා බඩට පහර දුන්නා. වාහනය නවත්තන්න බැරිද කියා තමයි ගැහුවේ. මන් කිව්වා පාරේ ඉඩ තියෙන තැනකින් නැවැත්තුවේ   කියලා. 
 
 පපුව රිදෙන නිසා සුරියැව රෝහලට ගියා.එහිදි රෝහලේ හිටිය දොස්තර මහත්තයා කිව්වා පොලිසියේ පැමිණිල්ලක් නැතිව බාරගන්න බෑ කියලා. ඊට පස්සේ මන් නැවත සුරියවැව පොලීසියට පැමිණිල්ලක් කරන්න ගියා. ඒත් ඒ වෙනතොටත් මට ඉන්න බෑ. පපුව රිදෙන නිසා මන් නැවත් සුරියවැව රෝහලට ගියා.   ඒ වෙලාවේ හිටිය දොස්තර මහත්තයට මන් කිව්වා මට අමාරුයි කියලා .නමුත් දොස්තර මහත්තයා කිව්වා පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට බාරග්න්න බෑ කියලා. බැරිම තැන මන් හම්බන්තොට මහ රෝහලට ගියා. එහිදිතමයි දොස්තර මහත්තුරුන් මාව රෝහලට ඇත්ලත් කරලා ප්‍රතිකාර කළේ. ඇයි දුප්පත් අපට මෙහෙම කරන්නේ?‘ යැයි ඔහු කීවේය.
 
රියදුරුට පහරදෑම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්  ටිපර් රථ රියදුරෝ පිරිසක් අද හම්බන්තොට ගොන්නොරුව හරහා සුරියවැව දිවෙන ප්‍රධාන මාර්ගය හා මත්තල ගුවන්තොටු පොළ ප්‍රධාන මාර්ගය හරස් කරමින්   පැය හතරක පමණ කාලයක්  විරෝධතාවක් පැවැත්වූහ.   විරෝධතාවයට එක්ව සිටි පස් ප්‍රවාහණය කරනු ලබන ටිපර් රථ රියදුරන් පැවසුවේ දිගින් දිගටම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් තමන්ට හිරි හැර සිදුවන බවයි.  
 
පහරකැමට ලක් වු පුද්ගලයා සුරියවැව රෝහලට ඇතුලත් කර නොගැනිම සම්බන්ධයෙන් සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද   කළ විමසීමකදී ඔහු කීවේ   මේ ගැන සොයා බලන බවයි. ‘කවුරුන් හෝ රෝගියෙකු රෝහලට ආවා නම් ඒ රෝගියා රෝහලට ඇතුලත් කර ගැනිම කිසිසේත්ම ප්‍රථික්ෂේප කරන්න බෑ. පහරදිමක් නිසා රෝගියෙකු  රෝහලට ආවා නම් අප කළ යුත්තේ රොගියා රෝහලට ඇතුලත් කර රෝහල් පොලීසියට ඒ පිළිබදව දැනුම් දීමයි. මා මේ වන තෙක් එවැනි සිදුවිමක් සම්බන්ධයෙන් දැනුම්වත් නෑ.මා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන්නම්‘ යැයි ඔහු පැවසීය.