ආදරවන්තයින්ගේ මුදල් හා ජංගම දුරකතන සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ගලේවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල දේවහුව ජලාශය ආසන්නයේ පෙම්සුව විඳිමින් සිටි යුවළකගෙන් ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණ අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දේවහුව ජලාශය ආසන්නයේ සිටි පෙම්වත් යුවළක් සතු රුපියල් 500ක මුදල් සහ ඔවුන්ගේ ජංගම දුරකථනය සොරා ගෙන තිබී සොයා ගත් බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයේ නිවාඩු දිනයන්හිදී ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී ප්‍රදේශවල පෙම්වතුන් සිටින ස්ථානවල රැඳී සිටිමින් ඔවුන් බියගන්වා මෙසේ මුදල් පැහැරගැනීම කාලයක සිට සිදුකර ඇතැයි වාර්තා වේ.
ඇතැම් අවස්ථාවලදී මොවුන් සිවිල් පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් හොර රහසේ පෙම් සුව විඳීමට නිවෙස් වලට පැමිණෙන ජෝඩු බියගන්වා ඔවුන් සතු රන් මාල, මිල මුදල් සහ ජංගම දුරකතන පැහැරගැනීමේ ජාවාරමක නිරතව ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙවැනි සිදුවීම් රැසක් පසුගිය දිනවල සීගිරිය මෙන්ම දඹුල්ල පොලිස් බල ප්‍රදේශයන්හිදී ද වාර්තා විණි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ගලේවෙල මාදිපොල ප්‍රදේශයේ සහ සියඹලාගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
දේවහුව ජලාශයේ නිවාඩු දිනයන්හිදී උපකාරක පන්ති යන මුවාවෙන් පෙම් සුව විඳීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවත් දෙමව්පියන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කොට තම දරුවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිති.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, මුදල් සහ ජංගම දුරකථන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.