පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරලා


( උපාලි රණවීර)
 
පුගොඩ , ඕවිටිගම බෝධිමලු විහාරස්ථාන මාර්ගයේ නිවසක නිදාගෙන සිටි අයෙකු අද (06) අලුයම ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇතැයි පුගොඩ පොලිසිය කියයි.
 
එම තැනැත්තා අලුයම සිය  බිරිද රැකියාවට පිටත් කර හැර සාලයේ නිදාගෙන සිටියදී නිසියාකාරව වසා නොතිබූ නිවසේ දොරින් ඇතුලු වූ කිසිවකු මෙම ඝාතනය සිදුකර ඇතිබව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලබාසිටියදී දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇත්තේ ඕවිටිගම පංසල පාරේ පදිංචි එස්.එච්.චමින්ද දයානන්ද නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
 
අපරාධයට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම වෙනත් අපරාධයකට වරදකරු වී සිරදඩුවම් ලැබ ජනාධිපති සමාව ලබා ඉකුත් නිදහස් දින පැමිණ ඇතැයිද ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයකු බවද පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ.