පුත්තලම කලපුවේ කඩොලාන විනාශවීම ගැන සෙවීමට පරීක්ෂණ


(එච්. චන්දන)
 
පුත්තලම - කල්පිටිය ප්‍රධාන මාර්ගයේ  පාලවිය කළපුවේ කඩොලාන ශාඛ විශාල ප්‍රමාණයක් දිරාපත්වී විනාශ වීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන කාර්යාලය කියයි.
 
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ දැනට සති කිහිපයක සිට මෙම විශාල කඩොලාන ගස් ගණනාවක් වර්ණය වෙනස්වී මිය යන ආකාරයක් දක්නට ලැබුණු බවය.
 
පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගය දෙපස විශාල ලෙස කඩොලාන ශාඛ දක්නට ලැබේ. ඒ තුලින් පුත්තලම කළපුවට සුන්දරත්වයක් හා විශාල පරිසර ආකර්ශනයක් ගෙන දෙයි. මෙම කඩොලාන ශාඛ මිය යාමෙන් එම තත්ත්වය වෙනස් වී ඇති අයුරු දක්නට ලැබේ.
 
කිසියම් අයකු විස ද්‍රව්‍යයක්  මෙම ශාඛවලට ගසා  ඇති බවට මූලික විමර්ශනවලදී අනාවර්ණය වී ඇති  බවත්, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන බවත් පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා සඳහන් කරයි.