පාසලේ පරිගණක සොරාගත් සිසුවකු ඇතුළු 3ක් අත්අඩංගුවට


(බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය හෝකන්දර රත්න කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක ඇතුළු උපාංග සොරකම් කළ එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවකු ඇතුළු තරුණයින් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම වසරේ අවස්ථා තුනකදී මෙලෙස පරිගණක  සොරකම සිදු කර ඇති අතර පළමු අවස්ථාවේදී පරිගණක විද්‍යාගාරයෙහි සිවිලිම කඩා ඇතුළු වී පරිගණක තුනක් ද දෙවන අවස්ථාවේදී කවුළුවක දැල් ගලවා සහ තෙවන අවස්ථාවේදී දොර කඩා එම විද්‍යාගාරයෙහි තිබූ පරිගණක 15 ක් සහ පරිගණක උපාංග කොටස් සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක සොරකම් කර ඇති බවට ලද පැමිණිලි මත විමර්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතරතුර හෝකන්දර විද්‍යාල හන්දියෙහි උඩු මහලක පරිගණක කි‍්‍රඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා කටයුතු කරමින් සිටින තරුණයින් කිහිපදෙනෙකු පිළිබඳ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් අලවත්ත මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාල තරුණයින් තිදෙනා සැකපිට අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකාර තරුණයින් පරිගණක කි‍්‍රඩා මධ්‍යස්තානයක් ආරම්භ කිරීම සදහා මෙම සොරකම් සිදු කල බවත් සොරාගත් පරිගණක නිවෙස්වල සගවා තබා ගෙන සිටි බවත් පරිගණක විද්‍යාලයට සොරෙන් ඇතුළු වී විනාඩි විස්සක පමණ කාළයක් තුල පරිගණක හයක් කොටස් කර එම කැබැලි වශයෙන් ගෙනගොස් නිවසේදී පරිගණකය සම්පූර්ණ කිරීමට කටයුතු බව සැකකරුවන් පාපොච්චාරණය කළ බවද අතුරුගිරිය පොලිසිය පවසයි.