පාසල් විනය හදන්නැයි විරෝධතා සතියක්


බිඟුන් මේනක ගමගේ 
 
පාසල් සිසු විනය ආරක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙළක් සකසන්නැයි රජයට බල කරමින් දිවයින පුරා විරෝධතා සතියක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
පාසල් ඉදිරිපිට හා පාසලට ආසන්න නගරයේ ගුරු සිසු ඒකාබද්ධ විරෝධතා මාලාවක් හැටියට සංවිධානය කෙරෙන වැඩපිළිවෙළ ලබන 11 සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
 
ගුරුවරියකට සිරදඬුවම් විඳින්නට සිදුවන තැනට පාසල් විනය ප්‍රශ්නය දරුණු වූයේ අධ්‍යාපන බලධාරින් නිසියාකරව ඊට මැදිහත් නොවූ නිසා යැයි චෝදනා කරන ජයසිංහ මහතා මේ වනවිට සමාජ අපචාර හා ජාවාරම්වල ප්‍රධාන ගොදුර බවට පාසල් සිසුන් පත්ව ඇතැයි පවසයි.
 
සිසු දරුවන්ගේ විනය ආරක්ෂා කිරීම මගින් යහපත් පුරවැසියකු බිහිකිරීම ගුරු විදුහල්පතිවරුන්ට මෙන්ම මවුපියන්ට ද විශාල අභියෝගයක් වී ඇතැයි ද මෙකී පාර්ශ්ව නිවැරදි අවබෝධයකින් කටයුතු නොකිරීම නිසා ගැටුම් නිර්මාණය වීම සුලභ තත්ත්වයක් වී ඇතැයි ද එහි සඳහන් වේ.
 
දරුවන්ට ශාරීරිකව හෝ මානසිකව පීඩාකාරී ප්‍රතිචාර දැක්වීමට කිසිදු අයිතියක් නැතැයි ද මෙම ප්‍රශ්නය විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය සෙසු ආයතන සමඟ එක්ව කටයුතු කළ යුතු යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.