(බිඟුන් මේනක ගමගේ )
පාසල් දරුවන්ට පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට බලකරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ලෝක ළමා දිනය යෙදුණු අද (1) එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ පාසල් අතිබහුතරයක පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් දරුවන්ට නොලැබෙන්නේ යැයි ද රජය ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අසමත් වීම ඊට හේතුව යැයි ද එහි සභාපති අසේල සම්පත් මහතාගේ අස්සනින් යුතුව කොළඹ රාජකීය මාවතේ පිහිටි එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ කොළඹ කාර්යාලයට නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.
පාසල් දරුවන්ගේ සෞඛ්‍යට වඩා ආපන ශාලාවලින් ලැබෙන ආදායම ගැන රජය උනන්දු වීම කනගාටුවට කරුණක් යැයි ද එනිසා කායික හා මානසික වශයෙන් අස්ථාවර සමාජයක් බිහි වී ජාතික ආර්ථිකය විනාශමුඛයට පත්ව ඇතැයි ද එහි සඳහන් වේ.
රජයේ අනවධානය නිසා කෘතිම හා ක්ෂණික ආහාර වර්ග අනුභව කිරීමට පාසල් දරුවන් පෙළඹී ඇතැයි ද ස්ථුලතාවයෙන්, විටමින ඌණතාවයෙන් හා අක්ෂි ආබාධවලින් පෙළෙන පරපුරක් බිහිව ඇත්තේ එහි ප්‍රතිපලයක් වශයෙන් යැයි ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සිය නිවේදනයෙන් පවසයි.
ආපනශාලා හිමියන්ට නවීන පුහුණුවක් හා දැනුමක් ලබා දීම මෙම තත්ත්වය මත අතවශ්‍ය නමුත් රජය සාම්ප්‍රදායික විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන විනා මෙවැනි මූලික කාරණා ගැන අවධානය යොමු නොකරන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.
පැණි බීමවල සීනි ප්‍රතිශතය අඩු කිරීමට කටයුතු කරන අතරේ බදු පැනවීම නිසා නිෂ්පාදනයන්හි මිල වැඩිකිරීමට සිදු වී යැයි ද පරිභෝජනය පහළ වැටුණේ එහි ප්‍රතිපලයක් වශයෙන් යැයි ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.