පාසල ආරම්භ කරන්නැයි ගම්වැසියෝ උපවාසයක


(බිඟුන් මේනක ගමගේ) 

සබරගමුව පළාතේ උඩුගම ප්‍රදේශයේ පිහිටි වසර 17ක් තිස්සේ වසා දමා ඇති උඩුගම කණිෂ්ඨ විද්‍යාලය නැවත ආරම්භ කරන්නැයි ආණ්ඩුකාරවරිය දුන් නියෝගය බලධාරින් ක්‍රියාවට නොනගන්නේ යැයි චෝදනා කරමින් එම ගම්වැසියෝ පිරිසක් අද අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.

ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මෙම පාසල නැවත ආරම්භ කරන්නැයි නියෝග කර මාසයකට අධික කාලයක් ගතවීත් පළාත් අධ්‍යාපන ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා ගම්වැසියන් මෙම උපවාසය ආරම්භ කළේ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඒ අනුව මෙම තත්ත්වය ගැන සොයා බලා මැදිහත්වන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුකාරවරියගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ යැයි ද ජයසිංහ මහතා කීය.

මවුපියන්ගේ ඉල්ලීම මත මෙම පාසල නැවත ආරම්භ කරන්නැයි රඹුක්කන ප්‍රාදේශීය සභාවයට කරන ලද ඉල්ලීමක් ඒකමතිකව සම්මත වී ඇතැයි ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.