(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රිකට් පිත්තකින් පහර කෑමෙන් බරපතල තුවාල ලබා මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුර පශ්චාද් මරණ පරීක්ෂණයක් නොවපත්වා බටකැන්දර සුසාන භූමියේ මිහිදන් කර තිබියදී කැස්බෑව අධිකරණයේ වැඩෙබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඉදිරියේ අද(23) ගොඩගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාකැන්දන වැලිගොටුවත්ත පදිංචි සිටි එම්. චන්දපාල පීරිස් නම් 65 හැවිරිදි එක් දරු පියෙකි.
මියගිය පුද්ගලයා අප්‍රේල් මාසයේ 13වැනි දින එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු හා බහිස්බස් වූ බවත්, එම පුද්ගලයා ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් මෙම තැනැත්තා බරපතල තුවාල ලබා තිබූ බවත් පොලිසිය කියයි.
එම මොහොතේම එම පුද්ගලයාව කොළඹ ජාතික රෝහල කරාගෙන ගොස් තිබූ අතර දින කිහිපයක් ප්‍රතිකාර ලබා දී කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබිණි.
පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර තිබූ බව පොලිසිය කියයි.