පදික වේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි


(ඉන්දිකා රාමනායක)

උත්සව කාලය තුළ දී  මහා මාර්ග, පදික වේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙසේ රථ ගාල් කිරීමෙන්  ප‍්‍රධාන නගර තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් නිර්මාණය වී  මහජනයාට විශාල  අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිසිය විසින් මෙලෙස ඉවතට රැගෙන යාමේ දී එහි වියදම රථයේ හිමිකරු විසින් දැරිය යුතු බවත් පොලිසිය වාහන ඉවත් කිරීමේ දී  සද්භාවයෙන් යුතුව සිදු වූ හානියකට කිසිදු පොලිස් නිලධාරියකු  අලාභ ගෙවීමකට යටත් නොවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.