නෙරපන්න ගිය දමිළ යුවලට ඕස්ට්‍රේලියාවේ රැදෙන්න අවසර



ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකික දෙමළ පවුලකට අවසන් මොහොතේ නැවත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවි ඇති බව වාර්තා වේ. 

ඔවුන් පදිංචිව සිටි ක්වීන්ස්ලන්තයේ බිලෝලා නම් කුඩා නගරයේ ජනතාවගේ මැදිහත්වීම හේතුවෙන් මෙසේ ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

නඩේෂලිංගම් සහ ප්‍රියා යුවල සහ ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවෙදී උපත ලැබූ දියණියන් දෙදෙනා බලධාරීන් විසින් නිවසින් රැගෙන ගොස් රැඳවුම් බාරයේ තබාගෙන සිට ඇත. මේ අතර ඔවුන් ජීවත් වූ නගරයේ ජනතාව මැදිහත් වී 76000ක පමණ පිරිසක් අත්සන් කළ පෙත්සමක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.

එමගින් නඩේෂලිංගම් පවුලට ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳී සිටීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ඇති අතර මෙම පවුල පිටුවහල් කිරීම සඳහා ගුවන්යානය කරා ගෙනගොස් සිටියදී නැවත එම තීරණය අවලංගු කර ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නිදහස ලැබී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යුවල 2012 සහ 2013 වසරවල අවස්ථා දෙකකදී බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණ ඉන්පසු විවාහ වී ඇති බවයි. 

ශ්‍රී ලංකාවේ සිටි කාලයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වා ඇති නඩේෂලිංගම් යුද්ධය අවසන් වූ පසුව ඕස්ට්‍රේලියාවට පැනගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය පවසා ඇත. මෙම පවුල දැනට පර්ත් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවද වාර්තා වේ.

(බීබීසී ඇසුරිනි - 085)