නිවසක තනිව වාසය කළ අයෙක් හිසට සිදු වූ තුවාලයකින් මරුට


(විජේරත්න රත්නායක )
ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ පුද්ගලයෙක් හිසට සිදුවූ බරපතල තුවාලයක්ද සහිතව එම නිවස තුළම මියගොස් සිටියදී අද (28) දහවල් සොයාගත් බව ඇටම්පිටිය පොලීසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වූ එක්දරු පියෙකි.
 
 කළක සිට සිය බිරිඳ සමඟ සමීප ඇසුරක් නොමැති ඔහු බිරිඳ සහ දරුවා පදිංචි නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් පිහිටි නිවසක තනිව වාසය කොට ඇතැයිද දිනපතා නිවසට ගොස් ආහාර රැගෙන පැමිණෙන බවද පැවසේ.
 
ඉකුත් (26) සිට ඔහු සිය නිවසට නොපැමිණි බැවින් බිරිඳ ඒ ගැන සොයාබැලීමේදී මෙම පුද්ගලයා ඔහු වෙසෙන නිවස තුළ මියගොස් සිටිනු දැක තිබේ.

මොහු වහලයේ අළුත්වැඩියාවක් කිරීමට ගොස් වහලෙන් වැටී මියයන්නට ඇතැයි සැකකෙරෙන අතර අද සවස මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

ඇටම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.