(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්නාගොඩ සහ උඩකඩ ගම් දෙක යාකර කුරු ගඟ හරහා ඉදිකරන නව පාලම පෞද්ගලික ඉඩමක කොටසකින් අනවසරයෙන් ඉදිකරන බවට එම ඉඩම්හිමියා විසින් කර ඇති දැනුම්දීම සම්බන්‍ධයෙන් වහාම කරුණු සොයා බලා ඉඩම් හිමිකරුට සහනයක් දිය හැකිදැයි දැනුම් දෙන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා කුරුවිට ප‍්‍රාදේශීය ලේකම්වරියට ලිඛිතව නියෝග කර තිබේ.
කුරුවිට, උඩකඩ, පාලම අසල පදිංචි, පී.ඒ. සෙනෙවිරත්න යන අය විසින් ආණ්ඩුකාරවරයා වෙත කළ ඉල්ලීමක් අනුව ආණ්ඩුකාරවරයා මෙම නියෝගය කර ඇත.
උඩකඩ සහ එරත්නාගොඩ ගම් දෙක යාකර ඇති අඩි තුනේ කොන්ක‍්‍රීට් පාලම වෙනුවට වාහන යාහැකි වෙනත් පාලමක් රජයේ හෝ විදේශ ආධාර මත ඉදිවෙන බව පවසන සෙනෙවිරත්න මහතා නව පාලම ඉදිකරන්නේ තමන්ට උසාවි නඩු තීන්දුවකින් හිමිවුණ පර්චස් දහයක ඉඩමේ කොටසක්ද අයත් කරගෙන බව පවසයි.
මෙම ගම්දෙක යාකරන පාර තිබියදී තමන්ගේ පෞද්ගලික ඉඩමකින් මෙසේ ඉදිකිරිම නිසා පර්චස් පහක කොටසක් අහිමිව ඇති බවත් ඔහු ආණ්ඩුකාරවරයාට දන්වා තිබුණි.
එසේම ඔහු පදිංචි නිවසට යන පාරද අවහිර කර ඇති බවත් මේ සම්බන්‍ධයෙන් පළාත් ඉංජිනේරු සේවා ආයතනයට දැනුම් දුන්න ද ඵලක් නොවූ නිසා ආණ්ඩුකාරවරයාගෙන් සහනයක් ඉල්ලා සිටි බව ද ඔහු කීවේ ය.
පාලම ඉදිකිරිම සම්බන්‍ධයෙන් තමන්ගේ විරෝධයක් නැති බව පවසන සෙනෙවිරත්න මහතා තමන්ගේ ඉඩමට සිදුවු හානියට රුපියල් දසලක්‍ෂයක වන්දියක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව ද කීවේ ය.