(අනීෂා මානගේ)
තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේදී පැවති සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පුද්ගලයින් පහලොස් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේ නිවසක සාදයක් පැවති අතර එයට සහභාගී වීම සදහා වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන්ද කණ්ඩායමක් පැමිණ තිබේ. මෙම දෙපිරිස අතර ආරවුලක් හටගෙන ඇති අතර මෙය දුරදිග යාමෙන් දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබේ.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත. ගැටුම සිදුවූ ස්ථානයේ තිබූ ත්‍රී රෝද රථයකටද පහරදීම නිසා ඉදිරිපස වීදුරුවට හානි සිදුවී තිබේ.
යතුරුපැදි 4 ක් හා හානි සිදුවූ ත්‍රී රෝද රථය පොලිස් බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (4) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය