නතර කළ ගල්කොරිය යළි ඇරඹීමට විරෝධය


(සංජය මදුශාන්)

හබරණ මොරගස්වැව උදාකල ගම්මානයේ පිහිටි වැඩ නතර කළ ගල් කොරියක් නැවත ආරම්භ කිරීමට උපකාර කරනවා යැයි පවසමින් ගල් කොරියේ හිමිකරුට හා හබරණ පොලීසියේ ස්ථානාධිපතිට විරුද්ධව ප්‍රදේශවාසීහු සාමාකාමි විරෝධතාවක් ගල් කොරිය ඉදිරිපිට පැවැත්වූහ.

හබරණ පොලොන්නරුව මාර්ගයේ මොරගස්වැව උදාකළ ගම්මානයේ පිහිටා ඇති ‍පහේ ගල ව්‍යාපාරිකයකු විසින් 1992 දී ගල් කොරයක් සඳහා භාවිත කර ඇති අතර එහි බලපත්‍ර කල් ඉකුත්වීමෙන් 2019 දී  ගල්කොරියේ වැඩ තාවකාලීකව නවතා දැමිණි.

ගල් කොරය අවට පදිංචි ප්‍රදේශවාසීන්ට ඇතිවූ විවිධ ගැටලු හේතුවෙන් ගල් කොරිය පිළිබඳ හබරණ පොලීසිය වෙත පැමිණිලි කළ බව ගම්වැසියෝ කියති. නීතිවිරෝධි පිපුරුම් ක්‍රම භාවිතයෙන් ගල් කැඩීමෙන් ගල් කැබලි නිවාස මතට පතිතවීම, ගල් කුඩු හේතුවෙන් ළමුන්ට ආසාත්මිකතා ඇතිවීම, නිවාස ඉරිතලා යාම, නිතී විරෝධි ආකාරයට බලපත්‍රයේ කොන්දේසි ඉක්මවා කැනීම් කිරීම සිදුකරන බව පවසති.

මෙවැනි තත්වයක් හමුවේ මෙම ගල් කොරිය ආරම්භ කිරීම සඳහා හබරණ පොලිස් ස්ථානාධිපති මෙම ව්‍යාපාරිකයාට සහය දක්වන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති. එම ගල්කොරිය පවත්වාගෙන යන හිමිකරු විසින් ප්‍රදෙශවාසීන්ට පැවසූවායැයි කියන කරුණු කිහිපයක් තම පුවරු මත ප්‍ර‍දර්ශණය කරනු ලැබ ඇත.

මේ පිළිබඳව හබරණ පොලීසියේ ස්ථානාධිපති සී.අයි.එන්.පී ජයලත් මහතා අප කළ විමසුමකදී මෙසේ පැවසීය.

'මෙම ගල් කොරයේ හිමිකරු විසින් නැවතත් ගල් කොරය පවත්වාගෙන යාම සුදුසුද නැද්ද යන්න සදහා අවශ්‍ය පරීක්ෂාවක් කිරීමට හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසරයක් අරගෙන තියනවා. පරීක්ෂණය කිරීමට ගල් වලෙහි තිබෙන ජලය ඉසගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න යැයි අධිකරණයෙන් නියෝගයක් ලැබී තියනවා. ඒ සදහා අවශ්‍ය ආරක්ෂාව අප විසින් ලබා දුන්නා ගම්වාසීන්ගේ විරෝධතා පැවතීමෙන් පරීක්ෂණය කරන්න තිබුණේ අද (18) නමුත් ජලය ඉසගැනීමට නොහැකි වීමෙන් පරීක්ෂණය ගල් කොරියේ හිමිකරු විසින් අධිකරණයෙන් කල් ඉල්ලාගත්තා. මේ ස්තානයේ සිදුවෙන්නේ භූවිද්‍යා එකෙන් සිදුකරන පරීක්ෂණයක් පමණයි.'