(ඉන්දිකා රාමනායක)
වැල්ලම්පිටිය සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ ඉකුත් (31) දින පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු සිටින ධනුෂ්ක නැමැත්තා ගේ අනු දැනුම මත සිදුව ඇති බව තොරතුරු හෙළිව ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම සදහා යතුරු පැදි සහ අවශ්‍ය සහය ලබා දී ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ධනුෂ්ක නැමැත්තාගේ ගෝලයකු කොලොන්නාව ප්‍රදේශයේ ඊයේ (6) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුට අයත් අංගොඩ නිවසේ තිබී මෙරට නිශ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, එයට යොදන ටී 56 උණ්ඩ 3 ක් හා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහුගේ නිවසේ තිබී ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිද්ධිය වු දින හා මේ දක්වා සැකකරු ධනුෂ්ක නැමැත්තා සමග සංවාදයේ යෙදී ඇති අයුරු හෙළි වු බවද පොලිසිය පවසයි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා ධනුෂ්ක නැමැත්තා සමග කාලයක් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවත්, ඒ සදහා මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල්කරගෙන ධනුෂ්ක නමැත්තා සමග අමනාපෙන් සිටින බවට තොරතුරු හෙළි වු බවත්, එම සිද්ධිය මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිසිය සැකකරයි.
වෙඩි තැබීම සදහා යොදාගත් යතුරු පැදිය ලබා දී ඇත්තේ ද අත්අඩංගුවට ගත් සැකකරු බවද පොලිසිය කියයි.
සැකකරුගේ ආධාර අනුබල ලබා දීම මත වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු හා පසුපස පැමිණි පුද්ගලයන් හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.