රොමේෂ් මධුෂංඛ
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර අද (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනකුගෙන් එක් අයකු ඊයේ (16) සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.
සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ දී ආහාර වර්ජනයක නිරතව සිටින කොටි සාමාජිකයින් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් හා උතුරු පළාත් සභාවේ කේ .ශාන්තන් මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රජයෙන් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පියවරෙන් පියවර සිදු කරමින් සිටින නිසා වසර ගණනාවක්ම ඉවසාගෙන සිටි අන්දමට තවත් සුළු කාලයක් ඉවසා සිටින ලෙසයි. නමුත් ආහාර වර්ජනය අත්හැරීමට ඔවුන් එකග වී නොමැත.
මේ පිළිබදව අනුරාධපුර බන්ධනාගාරයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ආරම්භ කෙරෙන විටම අනුරාධපුර බන්ධනාගාරයේ සිටින මේ සිරකරුවන් පිරිස ආහාර වර්ජනයක නිරත වන බවටයි.