දෙමටගොල්ලට වන අලි කඩා වැදී පවුල් 300ක් පීඩාවට


(කාංචන කුමාර ආරියදාස)

ගල්කිරියාගම, දෙමටගොල්ල ගම්මානවලට හයදෙනෙකුගෙන් යුතු වන අලි රංචුවක් කඩාවැදීම හේතුවෙන්,  පවුල් 300ක් පමණ සති ගණනාවක සිට පීඩාවට පත්ව සිටින බව ගම්වාසීහු කියති.

අලි රංචුව රාත්‍රී කාලයේදී ගම්වැදී නිවාසවලට පහර දී, පොල් ගස් කඩා දමා, වගා විනාශ කරන බැවින් ජීවිත අවදානමක් පවතින බව ජනතාව පෙන්වා දෙති.

පොල් ගස්වලට හිස තබා ඵල දරන පොල් ගස් රැසක් අලි පෙරළා දමන බවද, අහස්කූරු උපයෝගී කරගනිමින් නිදිවර්ජිතව අලි පන්නා දමන බවද ගම්වාසීහු කීහ.

කහල්ල පල්ලෙකැලේ   සහ රණව රක්ෂිතවලින් මෙම වන අලි ගම් වදින බවත්, ආහාර හිඟය නිසා මේ ආකාරයෙන් ගම්වදින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්න ද කිසිදු අවධානයක් නොමැති බවද ජන ජීවිතය වන අලි උවදුරෙන් බේරාකරදෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැවසූයේ සිය කාර්යාලයට අයත් බල ප්‍රදේශ සියල්ලකටම පාහේ අලි කඩා වැදී වගා විනාශ කරන බවයි. සීමිත සේවකයන් පිරිසකගෙන් මෙම කලාප සියල්ල ආවරණය කිරීම අපහසු බවද හැකි ආකාරයෙන් නිදි වර්ජිතව වන අලි පලවා හැරීමට කටයුතු කරන බවද ඔවුහු කියාසිටිති.